දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත‍්‍ර ගණනාවක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළබඳ මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ගුවන් තොටුපොළ කළමනාකරණය, මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම, විද්‍යා හා තාක්ෂණික, නැනෝ තාක්ෂණික සහ ජීව තාක්ෂණික, සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, හමුදා නිලධාරින් පුහුණුව, බුද්ධි තොරතුරු හුවමාරුව, තානාපති නිලධාරින් පුහුුණු කිරීම, ඊ- අධිකරණ තාක්ෂණය, කෘෂිකර්මය ආදි ක්ෂේත‍්‍ර ඊට ඇතුළත් වේ.

එමෙන්ම දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම ආයෝජන තර කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර වාර්ෂික වෙළෙඳ මේ අගය මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 680 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ පිළිබඳව ද මෙහිදී සිය සතුට පළ කළ මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයා කෙසේ වුවද මැලේසියාවට බොහෝ වාසි සහගත වෙළෙඳ සමතුලිතතාවය සමබර කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් කෙරෙන ආනයනයන් ඉහළ නැංවීමට සිය රට අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.

මැලේසියාවේ ඊ- අධිකරණ තාක්ෂණය තුළින් නඩු විභාග කිරීමේ කාල සීමාව බෙහෙවින් අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව මෙහිදී පැවසූ මැලේසියා අගමැතිවරයා එම තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට ද කැමැත්ත පළ කරන ලදී.

මධ්‍යම පාන්තික නිවාස 14,000 ක් මෙරට ඉදිකිරීම සඳහා මැලේසියාවේ එකඟතාවය පළ කළ කෙරුණු අතර, ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. දැනට ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක විදේශ ආයෝජන ක‍්‍රම 47 ක් මැලේසියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන අතර, එය තවදුරටත් නංවාලීම තම අභිලාෂය බව ද මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර වේදිකාවලදී, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට නිරන්තරයෙන් මැලේසියාවෙන් ලැබෙන සහය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිර අර්ථකතනය අපට නොගැලපෙන බව පැවසූ මැලේසියානු අගමැතිවරයා බටහිරින් බලහත්කාරයෙන් දෙන අර්ථකතනයට වඩා අපට මානව හිමිකම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන බව පැවසූ අතර, ජනාධිපතිතුමා ද තමාද එම මතයම දරණ බව සනාථ කළේය.

මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම මැඩලීම සඳහා බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළ අතර, ඒ සඳහා වහාම පියවර ගන්නා බවට මැලේසියා අගමැතිවරයා සහතික විය.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. දෙරට අතර තානාපති නිලධාරින් පුහුණු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ මැලේසියා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අත්සන් තැබිණි.

දෙරට අතර විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන මහලේකම් කාර්යාලය සහ මැලේසියා කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලය අතර අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ මැලේසියාවේ කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ඊට අත්සන් තැබූහ.

එමෙන්ම දෙරට අතර විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාව පිළිබඳව අත්සන් තැබුණු ගිවිසුමට ද විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ මැලේසියාවේ කර්මාන්ත හා උසස් තාක්ෂණය සදහා වූ රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික  සබඳතා ආරම්භ කර වසර හැටක් සපිරීමට සමගාමීව මැලේසියා අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, එය සමරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය. තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් සමරු මුද්දරය සහ මුල්දින කවරය නායකයින් වෙත පිළිගන්වන ලදී.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද, අමාත්‍යවරුන් වන තිලක් මාරපන, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, මලික් සමරවික‍්‍රම, සුසිල් ප්‍රේමජයන්ත, තළතා අතුකෝරාළ, ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.