වැසි තත්ත්වය තවදුරටත්

Share

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර එම නිසා දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල (විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන්ද, සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල (විශේෂයෙන්ම රත්නපුර, කෑගල්ල, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගයේ විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News