Home විදෙස් පුවත් කොරෝනා නිසා චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

කොරෝනා නිසා චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

0
කොරෝනා නිසා චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර චීනයේ වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට සොයාගත් නව කොරෝනා වෛරසය මේ වන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර ලොව රටවල් රැසකට ද ව්‍යාප්ත වී තිබේ.

මෙලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ ප්‍රංශය, ජපානය, මලයාසියාව, නේපාලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, අමෙරිකාව, වියට්නාමය, කැනඩාව යන රටවල් මෙන්ම හොං කොං දේශය වැනි රටවල්වලයි.

ෂින්හුවා පුවත් ඒජන්සිය පවසන්නේ වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් අසූවක් මියගොස් ඇති බවයි.

මියගිය අය අතර වුහාන්හි හුබෙයි පළාතේ 76 දෙනෙකු වන අතර අනෙක් සිව්දෙනා වෙනත් ප්‍රදේශවලින් වාර්තා වේ.

විදෙස් වාර්තා පවසන්නේ පුද්ගලයන් 5700කට වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුවී සිටින බවයි.

ඉන් 2744 දෙනෙකු වෛරසය ආසාදිතයන් බවට චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ නිවේදනය කළේ, ඔවුන්ගෙන් 460කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

මේ අතර කොරෝනා වෛරසය, ආසාදිත පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ මතුවීමට පෙර එම ආසාදිතයාගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි බව චීන සෞඛ්‍ය බලධාරීන් ඊයේ සඳහන් කළේ ය.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම අතිශය දුෂ්කර බවයි.

එය තවදුරටත් පැතිරීම පාලනය කිරීමට චීනයේ වූහන් නගරයේ ජනතාවට වීසා සහ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ සේවා සියල්ල තාවකාලිකව අත්හිටුවීමට චීන බලධාරීන් පියවර ගනු ලැබී ය.

නගර බලධාරීන් සඳහන් කළේ, මෙය ලබන 30 වනදා තෙක් බලාත්මක වනු ඇති බවයි .

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ චීනයේ ලූනා නව වසර වෙනුවෙන් ලබාදුන් නිවාඩු දීර්ඝ කිරීමට ද චීනය පියවර ගෙන තිබේ.

පවතින තත්ත්වය හමුවේ චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරග දෙකක සත්කාරකත්වය චීනයට අහිමි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

මාර්තු මස 13 වැනිදා සිට 15 වන දා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගය සහ පෙබරවාරී මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානූ ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ සත්කාරකත්ව මෙලෙස චීනයට අහිමි වී තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූවන් පස් දෙනෙකු ඇමෙරිකාවෙන් සොයා ගැණුනු අතර බලධාරින් පවසන්නේ ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය බවයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ෆීනික්ස්, චිකාගෝ සහ සියැට්ල් ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් පිලිබඳ වාර්තාවිය.

වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකපළ වන දහසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද අමෙරිකානු බලධාරීහු සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here