වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව පෙත්සමක්

Share

පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 27 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එම්.එම්. චන්ද්‍රසේන ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් හා භූ විද්‍යා පතල් කාර්යාංශය නම් කර තිබුණි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ එය කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 27 වනදා යළි කැඳවන ලෙසයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා මෙතෙක් පැවැති බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ඉකුත් දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.

මේ හේතුවෙන් ගංගාවල පස් කැපීම හා කැණීම් ඉහළගොස් ඉවුරු ඛාදනය වීමේ බරපතළ අවදානමක් මතු වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් මේ හරහා දැඩි පාරිසරික විනාශයක් රට තුළ උද්ගත වන බවද සඳහන් කළේය.

එබැවින් වැලි හා පස් ප්‍රවාහණය කිරීම සඳහා මෙතෙක් පැවැති බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News