ජනපති නැගිට ගියේ ස්වභාවික අවශ්‍යතාවක් නිසයි – රාජිත සේනාරත්න මහතා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (16) පැවැති කැබිනට් රැස්වීම අතරතුර නැගිට ගියේ ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යාම පිළිබඳ ඇතිවූ ගැටලුවක් නිසා නොව එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා යැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පමණක් තමන් ද ඇතුළු කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන් එවැනි ස්වාභාවික අවශ්‍යතා සඳහා රැස්වීම අතරතුර නැගිට යන බවද පැවසූ ඇමැතිවරයා පෙන්වා දෙන්නේ පෙරේදා පැවැති කැබිනට් රැස්වීමේදී කිසිදු ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති නොවූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම කැබිනට් රැස්වීමේදී කරුණු ඉදිරිපත් කළ බවත් පවසන රාජිත සේනාරත්න මහතා, අදාළ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන්ට අවවාද කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පෞද්ගලිකව පැවසූ බවත් සඳහන් කරයි.

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට විශේෂ ප්‍රකාශ හෝ කරුණු ඉදිරිපත් කිරීම අවස්ථාව හිමි වන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා කරුණු කිහිපයක් අවධාරණය කළ බවත් පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ රජය විවේචනය කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ නිදහස උපරිමයෙන් පවතින බවත් ය. එම නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට නොගෙන ආණ්ඩුවට ද හානි නොවන සේ කටයුතු කිරීම, මත පළ කිරීම රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ වගකීමක් බවද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන් බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

Read more

Local News