වැල්ලම්පිටියෙන් කුඩු ගෙනත් කොළඹට විකිණූ කල්ලියක් අල්ලයි

Share

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් තොග වශයෙන් මත්කුඩු ගෙනවිත් කිරිබත්ගොඩ, වනවාසල, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසක ඉතා රහසිගතව ඇසුරුම් කර වැඩි මිලට කොළඹ ප්‍රදේශයට බෙදා හරින ජාවාරමෙහි නියුතු යුවළක් ඇතුළු සිව්දෙනෙකු කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගන්නා ලදී.

 

කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී ලද තොරතුරකට අනුව පෙරේදා රාත්‍රී වනවාසල දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසක් වැටලිමේ දී එම නිවසේ සාලයේ සිමෙන්ති පොළොව මත මෙම යුවළ හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිට ඇත.

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක් වු සැකකාර කාන්තාව අවුරුදු 45 ක් වු පිරිමි පුද්ගලයෙකුද හවුල් කර ගනිමින් වනවාසල, දෙල්ගහවත්ත ප්‍රදේශයේ තම ඥාති නිවසේ දීර්ඝ කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරම සිදුකර ඇත.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විදුරුවක් මත හෙරොයින් අතුරා විදුලි තාරාදියක් ද යොදා ගනිමින් මත්කුඩු කිරා මැන සෙලෝපීන් උරවල කුඩා පැකට් වශයෙන් සකස් කර ඇති බවත් ඒවා කොළඹ, මෝදර, මට්ටක්කුලිය, සේදවත්ත ප්‍රදේශවල ගැනුම්කරුවන්ට අලෙවි කරන බවත් පොලිසිය පවසයි.

සොයාගත් මුළු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 20යි මිලි ග්‍රෑම් 605ක් වන බවත්, එහිි වටිනාකම රුපියල් දෙලක්ෂ විසිදාහක් පමණ වන ‌බව පොලිසිය පවසයි.

මූලාශ්‍රය – මව්බිම

Read more

Local News