කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිට එරෙහි නඩුවට දින නියම වේ

Share

පොදු දේපළ පනතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

 

2012 වසරේ නොවැම්බර් මස විසි වන දා කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඔබේසේකරපුර ප්‍රදේශයේ අරුණෝදය මාවත සහ ගැටේ වත්ත ප්‍රදේශයේ යා කරන පාලමක් කඩා ඉවත් කිරීමක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණය ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී විත්තිකාර ජනක රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළව සාක්ෂි ආඥා පනත යටතේ විත්තිකරු වෙත නොතීසි ලබා දෙන බව ද දැනුම් දෙන ලදී.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් මස 4 වනදා සිදු කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලදී.

Read more

Local News