ගර්භණී සමයේ දරුවාට ඇහෙන දේවල් ගැන ඔබත් සැලකිලිමත් ද?

Share

මවක් වශයෙන් දරුවෙකු කුස පිළිසිඳගත් දා පටන් ඔබ ගොඩක් පරිස්සම් වෙනවා නේද? ඒ වගේම තමයි කුසේ ඇති වන කළලය ටිකෙන් ටික ලොකු වෙන්න ගන්නකොට දරුවාත් ටිකෙන් ටික ලොකු වෙනවා කියන හැගීමත් ඉබේටම අපේ හිත තුල ඇති වෙන්න ගන්නවා.

 

ඉතින් අපි වැඩිපුරම කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙනවා වගේම දරුවා කුස තුල සිටින කාලයේ ශ්‍රවණය වෙන දේවල් ගැනත් අවධානය යොමු කිරිම ඉතාමත් වැදගත් වෙනවා.

කළලයට සති කීපයක් වෙනකොට ශ්‍රවණය සඳහා අවශ්‍ය වෙන පිට කන, මැද කන සහ ඇතුළු කන නිර්මාණය වෙන්න පටන් ගන්නවා. සති 12 – 28 අතරදී දරුවාගේ කන සම්පුර්ණයෙන්ම වැඩිලා ඉවරයි. කළලයට සති 18 -20 අතර කාලය තුලදී එය පරිසරයේ ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා.

කුස තුල සිටින දරුවා ඇසෙන ශබ්ද වල හොඳ සහ නරක ස්වරූපය හොඳින් හඳුනා ගන්නවා. කිසියම් අසහනකාරී ශබ්දයක් ඇසෙන විට කම්පනයට පත් වන දරුවා, සහනදායි ශබ්දයක් ඇසෙන විට සමනයට පත් වෙනවා. දරුවා මවගේ කටහඬ හඳුනා ගන්නවා. මව යෙදෙන ආදරණිය සංවාද සහ මව සවන් දෙන රසබර සංගීතයට දරුවා හුරු වෙනවා.

මේ කාලයේදී කුසයේ සිටින දරුවා සමඟ ආදරයෙන් කතා කිරීම ඉතා වැදගත් වෙනවා. මව හා පියා යන දෙදෙනාම දරුවා සමඟ කතා කරන්න. ඔබේ දරුවා අප්‍රසන්න ලෙස ප්‍රතිචාර දක්වන්නේ මොනවාට දැයි හඳුනා ගන්න.

ඝෝෂාකාරී ස්ථාන වල රැඳෙන්න එපා. රණ්ඩු දබර ඇති ස්ථාන වලින් ඈත් වෙන්න, එවැනි රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් සහ සවන් දීමෙන් වළකින්න. පිරිත්, පරිසරයේ ස්වභාවික හඬවල් සහ මනස සංසුන් කරවන සංගීතය දරුවාට ඇසෙන්නට සලස්වන්න.

ඔබේ ආතතිය දරුවාට වැටහෙනවා. මව යම් කරුණක් ගැන දිගින් දිගටම දුක් වෙනවා නම්, බිය වෙනවා නම් එය දරුවාට දැනෙනවා. මවගේ සන්තාපයෙන් පිරුණු සිතුවිලි නිසා, ඇගේ සිරුරේ රසායනිකයන් සහ හදවතේ ගැස්ම වේගවත් වෙනවා.

මවගේ සිරුරේ ඇති වන ආතති හෝමෝන දරුවාට බලපානවා. ඉඳහිට සිදු වන අප්‍රසන්න සිදුවීම් දරුවාට එතරම් බලපාන්නේ නැහැ. නමුත් නිතර එවැනි දේ සිදු වීමට ඉඩ නොදිය යුතුය. මේ කාලයේදී මවට යම් කිසි ප්‍රශ්නයක් ඇති වූ විට ඒවා දිගින් දිගටම ඇදගෙන යෑම සුදුසු නැහැ. මව හිත සසල කර ගැනීම දරුවාට අහිතකර ලෙස බලපානවා. දරුවා වෙනුවෙන් සීයලා ඉවසීමට පුරුදු වන්න. සිත සංසුන් කරවන භාවනාවක නිරත වීම පුරුද්දක් කර ගන්න.

ගැබිණි මවකට සහනදායි සහ සුහදශීලි පරිසරයක් ගොඩ නඟා දීම පවුලේ සියල්ලන්ගේම වගකීමක්. දිනපතා ඔබේ දෑත් කුස මත තබා, දරුවා ගැන ආදරයෙන් සිතන්න. එවිට එම සිතුවිලි දරුවා වෙත ලඟා වනු ඇත.

Read more

Local News