පාර්ලිමේන්තු සැසි වාරය කල් දමමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බල රහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී අැත.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයාට නම් කර තිබෙන බවට වාර්තා වෙයි.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියා සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය ලබන 16 වන දා දක්වා කල් තැබීමට සිදු කර ඇති බවයි.
කිසිදු සාධාරණ පදනමක් නොමැතිව පාර්ලිමේන්තු සැසිවාර කල් තැබීම නිසා රටේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය වී ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසි වාරය කල් දැමීම තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටීන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දමමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවිරෝධී බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



