සාමයේ නත්තල අදයි

Share

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය අද(25) යි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීහු අද මේ අසිරිමත් දිනය සමරති.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලයම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අපද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවය.

සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබමොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැයි අද රටපුරා සෑම දෙව් මැදුරකම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත.

අති උතුම් ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර් බැසිලිකාවේදී පවත්වනු ලැබුවේය. ඒ සඳහා ලොව පුරා කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල, ශාන්ත ජෝෂප් දෙව් මැදුරේදී සිදු කෙරුණි.

Read more

Local News