පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පැවති තත්ත්වයට වඩා උසස් අයුරින් අංග සම්පූර්ණව හා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර කිතුණු බැතිමතුන්ට පූජා කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු උසස් ප්‍රමිතියෙන් යුක්තව අංග සම්පූර්ණව සිදු කිරීමට අමතරව මෙහි නව සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව අලුතින් කෞතුකාගාරයක්, දිවා ආහාර දානමය මධ්‍යස්ථානයක් හා ආහාර පිසීම සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේවස්ථාන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනවා සේම, විපතට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සහ ශක්තිය ලබා දීමට සමාජ සජීවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, මාතෘ භූමියේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමටත් රජයක් ලෙස අප කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විනාශයට පත් වූ කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට අද(02) දින එක්වෙමිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහයෝගය ඇතිව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.