දෙනුවර මැණිකේ අද සිට සේවයට එක්වෙයි

Share

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) සිය මංගල ගමන සුබ මොහොතින් ආරම්භ විය.

ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැති සමාරම්භක උත්සවයෙනි.

දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වූයේ උදෑසන 06.45ට යි. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාද එක් වූ එම සමාරම්භක උත්සවයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මගී අවශ්‍යතා සලකමින් මෙම නව දුම්රිය ධාවනයට එක් කළ බවයි.

“මේ දුම්රිය උඩරට ධාවනයටම නිෂ්පාදනය කළ දුම්රියක්. උඩරට ධාවනයට මෙවැනි දුම්රිය ගෙන ඒම සැලසුම් කළේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ප්‍රශ්නයක්ව තිබුණා උඩරට දුම්රිය මාර්ගය සඳහා අවශ්‍ය දුම්රිය එංජින් සහ මැදිරි සම්බන්ධයෙන්. අද එම ප්‍රශ්නයට අපි ටිකෙන් ටික උත්තර සපයමින් සිටිනවා…” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙහිදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ,

“බදුල්ල කියන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ඉතාම ඉක්මනින් දියුණු වන ප්‍රදේශයක්. ඒ ඇල්ල, හපුතලේ, බණ්ඩාරවෙල යන ප්‍රදේශ නිසා. ඒනිසා විශේෂයෙන්ම ආදායම් උත්පාදනය සඳහාත් සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහාත් බදුල්ලට යන ජනතාවට සුවපහසුව ඇතිව ගමනාගමනය කිරීම සඳහාත් මේ දුම්රිය ඉවහල් වෙනවා. ජනතාවට යම් වාසියක් ලබා දීම තමයි සෑම රජයකම යුතුකම. ඒ යුතුකම අපි දෙගොල්ලන්ටම එකතුවෙලා ඉටු කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා….”  යනුවෙනි.

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රියට යොදා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට චීනයෙන් ගෙන්වූ  එස් – 14 වර්ගයේ නවතම බලවේග කට්ටලයයි.

පෙරවරු 06.45ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය පස්වරු 03.27ට බදුල්ලට ළඟා වේ.

බදුල්ලෙන් එම දුම්රිය කොළඹ කොටුවට ගමන් ආරම්භ කරන්නේ පසුදින පෙරවරු 07.20ටය. දුම්රිය පස්වරු 04.03ට නැවත කොළඹ කොටුව පැමිණේ.

මෙම දුම්රිය වායු සමනය කළ පළමු පන්තියේ මැදිරි 02 කින්ද, දෙවැනි පන්තියේ මැදිරි 02 කින්ද, තුන්වන පන්තියේ මැදිරි 03 කින් ද සමන්විත වේ. භෝජන මැදිරිය ආසන 50කින් සමන්විතය.

දුම්රිය නවත්වන්නේ පොල්ගහවෙල, පේරාදෙණිය, ගම්පොල, නාවලපිටිය, හැටන්, තලවකැළේ, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල වේ.

වායු සමනය කළ පළමු පන්තියේ කොළඹ කොටුවේ සිට බදුල්ලට ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.1700කි. දෙවැනි පන්තිය සඳහා රු.1000.00 ක්ද තුන්වන පන්තිය සඳහා රු.700.00ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක්ද අය කෙරේ.

නවතම පහසුකම් සහිත මෙම දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක්, ජංගම දුරකතන ආරෝපණ පහසුකම්, මගී ආසන සඳහා hand free පහසුකම්ද ඇත.

Read more

Local News