ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඡන්දපලකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අද (16) පැවැත්වෙන ඡන්දය සඳහා පොලීසියේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව ඒ මහතා පැවසීය.
පොලිස් නිලධාරීන්ගෙන් ලබා දෙන ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙතම පොලිස් ජංගම සංචාර ද ක්‍රියාත්මක කරන බව ද පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අද පෙරවරු 7 ඡන්ද විමසීම ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර පොලීසිය ගෙන අවසන් බවත්, ඡන්ද දායකයින්ගෙන් ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන අසල රැඳී නොසිට, තම දෛනික කටයුතු සඳහා යොමු වන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.



