දුම්රියේ ගැටී මියගිය තරුණයාගේ සිරුර හඳුනාගන්න මහජන සහය පතයි

Share

මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේ මහයියාව නිත්තවෙල බෝක්කුවට උඩ කොටසේ දී මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී තරුණයෙකු මිය ගොස් ඇත.

ඊයේ (20) දින සවස 6.30ට පමණ මෙම තරුණයා දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් අදාළ දුම්රිය දැනුවත් වී නොතිබූ අතර දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු සේවකයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

කෙසේ නමුත් මෙම තරුණයාගේ හිස එක් දෙසෙකත් කඳ තවත් දෙස‍කත් තිබී ඇති අතර එය තිබූ ආකාරය අනුව මෙය දුම්රියට හිස තබා සිය දිවි නසා ගන්නට ඇති බවට සැක කළ හැකි බව පැවසේ.

තරුණයා සම්බන්ධයෙන් කිසිදු අනන්‍යතාවයක් හඳුනාගත නොහැකි බවත් ඔහුගේ සාක්තුවක තිබූ කළු පැහැති පසුම්බියක් පමණක් හමුවී ඇති බවත් එහි පිළිමතලාවේ සිට මහනුවර දක්වා ලබා ගත් දුම්රිය ටිකට්පතක් පමණක් තිබූ බවත් පොලීසිය කියයි.

මෙම තරුණයාගේ මෘත ශරීරය මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොහු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මෙම තරුණයා සතුව තිබූ කළු පැහැති මෙම පසුම්බිය මඟින් ඔහුගේ ඥාතීන්ට මොහු හඳුනාගත හැකිනම් කටුගස්තොට පොලීසියට ඉදිරිපත් වන ලෙස  පොලීසිය ඉල්ලා සිටී.

කටුගස්තොට පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්වද සිරි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලසේන මහතා සමඟ සැරයන් 47088 අමරකෝන් මහතා ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Read more

Local News