ලලිත් වීරතුංගට විදේශ ගතවීමට අවසර

Share

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 13 වනදා දක්වා ඉවත්කරන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී තිබෙන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විසින් වීරතුංග මහතා වෙත පණවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 13 වනදා තෙක් ලිහිල් කිරීමට නියම කළේය.

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනයට අදාළව වීරතුංග මහතාට ඇප ලබා දීමේදී ඔහුගේ විදේශ ගමන් අභියාචනාධිකරණය විසින් තහනම් කර තිබේ.

එම තහනම තාවකාලික ලෙස ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි වීරතුංග මහතා විසින් අද අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.

Read more

Local News