පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රටින් පිටවිම ගැන වාර්තාවක් ‌දෙන්නැයි CIDයට දැනුම් ‌දෙයි

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කර ඇති මෙම නිලධාරීයා ඊයේ (24) දිනයේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් විදෙස් ගත වී ඇති බව තහවුරු වී තිබිණි.

පොලිස් නිලධාරියෙකු රාජකාරි හෝ පෞද්ගලික කරුණක් මත විදේශගත වන්නේ නම්, අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්ය වෙන බව පොලීසිය සඳහන් කරයි.

නමුත් මෙම පොලිස් පරීක්ෂකවරයා විදේස්ගතව ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව බව වාර්තා වෙයි.

එමෙන්ම මෙම නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට, පසුගිය වසර 4 ක පමණ කාලය තුළ සිදුකළ විමර්ශනයක් පක්ෂග්‍රාහීව සහ අයුක්තිසහගත ලෙස සිදු කළ බවට නොයෙකුත් පාර්ශවයන්ගෙන් ඔහුට එරෙහිව යම් යම් දෝෂාරෝපණ එල්ල වී ඇති බවද පොලීසය පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් තුළ මෙම නිලධාරියා විදෙස් ගත වී ඇති බව පෙන්වා දෙන පොලිසීය නිලධාරියාට විරුද්ධව කිසිදු ආකාරයක විමර්ශනයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් මේ දක්වා ආරම්භ කර නොමැති අවස්ථාවක ඔහු මෙලෙස විදෙස් ගතව ඇතැයි ද පෙන්වා දෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක, විශේෂ විමර්ශන කිහිපයක් බාරව සිටි ස්ථානාධිපතිවරයෙක් මෙලෙස කිසිදු අවසරයකින් තොරව මෙලෙස විදෙස් ගත වීම බරපතළ ගැටළුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත අද (25) දැනුම් දී ඇත.

මෙය විනය විරෝධී ක්‍රියාවක් බැවින් පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය පවසයි.

Read more

Local News