අද රාත්‍රීයේ සිට වැස්සේ වැඩිවීමක්

Share

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද (27) රාත්‍රී සිට තවදුරටත් වර්ධනය වනු ඇත.

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල (විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, යාපනය, පොලොන්නරුව, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්ද, සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Read more

Local News