තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ දාහතහමාර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (01) දහවල් මෙම සිරුර පිළිබඳව පොලිසියට තොරතුරු වාර්තා වී ඇති අතර පසුව තණමල්විල මූලස්ථාන පොලිසිය සහ මව්ආර වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් එම ස්ථානයේ විශේෂ පරීක්ෂණයක් සිදුකර ඇත.
මියගිය වන අලියා වයස අවුරුදු 35ත් 40ත් අතර වයසක පසුවන බව වනජීවි නිලධාරීන් පවසන අතර විදුලි සැර වැදීමකින් වන අලියා මිය යන්නට ඇති බව වනජීවි නිලධාරීන් සැක පල කරයි.
වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකල අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය හා මව්ආර වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
මෙම ප්‍රදේශයේ වනඅලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර වනඅලි ජීවතමෙන්ම මිනිස් ජීවීත රැසක්, දේපල සහ වගාහානි රැසක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
එම නිසා වනඅලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙසට ද ජනතාව බලදාරින්ගෙන් ඉල්ලීමක් කරයි.



