රාජිත පැවැත් වු මාධ්‍ය සාකච්ඡාවක් පිළිබඳ CID පරීක්ෂණයක්

Share

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පුද්ගලයින් දෙදෙනෙකු රැගෙන විත් ජනාධිපතිවරණය ආසන්නයේ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය 10 වැනිදා අදාළ පුද්ගලයින් දෙදෙනා මාධ්‍ය හමුවට කැඳවා මෙරට තුළ සිදුවි ඇති බව කියන මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදන් වීම් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජය මදනායක නමැති පුද්ගලයින් දෙදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා එම පටිගත කරන ලද දර්ශන ලබා ගැනීමට අවශ්‍ය බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දී තිබේ.

එම දැනුම්දීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම මාධ්‍ය හමුවේ පටිගත කළ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස ද මාධ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ.

ගංගොඩවිලගේ කුමුදු ප්‍රදිප් සංජීව පෙරේරා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News