ලබන 30 වන දින දක්වා රීමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානීයා බැරිස්ටර් ප්‍රැන්සිස් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඇය ඊයේ (16) රාත්‍රී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි.
පැහැර ගැනීමකට ලක්වූ බව සදහන් කළ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානීයා බැරිස්ටර් ප්‍රැන්සිස් නමැත්තිය ඊයේ පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය සැකකාර කාන්තාව විසින් ගොතන ලද කතාවක් බවයි.
මෙම කතාව එම කාන්තාවගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද එසේ නොමැතිනම් ඒ පිටුපස කිසියම් පුද්ගලයෙකු සිටිනවා ද යන්න අනාවරණය කරගැනීම සදහා විමර්ශනය සිදුකරන බව රජයේ නීතීඥවරයා සඳහන් කළේය.
පසුගිය නොවැම්බර් 25 වන දින සවස තමාව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන නිශාන්ත සිල්වා නමැති පොලිස් නිලධාරියාගේ විදේශ ගත වීම පිළිබද ප්‍රශ්න කළ බව අදාළ සැකකාරිය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් එම පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනවල දී කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව රජයේ නීතීඥවරයා අධිකරණයට සඳහන් කර සිටියේය.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සහ පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව පොලීසියට ලබා දී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර මෙන්ම සැක සහිත බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 යන වගන්ති යටතේ සැකකාරියක් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපතිවරයා පොලීසියට උපදෙස් ලබාදුන් බව ද රජයේ නීතීඥවරයා එහිදි කියා සිටියේය.
මෙම සිද්ධිය තුළින් රටට විශාල අපකීර්තියක් සිදුවු බව පෙන්වාදුන් රජයේ නීතීඥවරයා පෙන්වා දුන්නේ එම සැකකාරියට ඇප ලබාදුනහොත් ඇය රටින් පළායාමට ඉඩකඩ පවතින හෙයින් ද විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් ද ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි.
මෙහිදි අදාළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා සදහන් කර සිටියේ සැකකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව අධිකරණයට ඇප ලබාදිය හැකි වැරදි බැවින් ඇය ඇප මත මුදාහරින ලෙසයි.
මෙම සැකකාරිය විමර්ශනවලට නිසි පරිදි සහය දැක්වීමක් සිදුකර නොමැති බැවින් ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙන්වාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඇය ලබන 30 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
ඊට අමතරව රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවේ විමර්ශන අවසන් වන තෙක් අදාළ කාන්තාව විදේශ ගතවීම වළාක්වාලමින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම දීර්ඝ කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම ලබන 19වැනිදා මෙම කාන්තාව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පරීක්ෂණයක් සදහා යොමුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.



