හෙරොයින් ළඟ තබා ගත් පාකිස්ථාන ජාතිකයෙක්ට හිමිවු දඬුවම

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 720.02 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙසේ දඬුවම් නියම වුණේ හතළිස් පස් හැවිරිදි පාකිස්තානූ ජාතිකයකුටයි.

2017 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා ලැබුණු තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 1.65 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

රජයේ රස පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණේ විත්තිකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය තුළ අඩංගු ශුද්ධ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම්  720.02 ක් බවයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශ පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් කළේය.

Read more

Local News