දඹුල්ල-අනුරාධපුර මාර්ගයේ අනතුරකින් තරුණයෙක් මරුට

Share

දඹුල්ල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගොනියා ඔය හන්දිය ප්‍රදේශයේදී අද (20) අලුයම ලොරි රථ 2ක් අනතුරට ලක්වී තිබේ.

 

එම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව දඹුල්ල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් සහ දැව පටවා මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් බව පොලීසිය පවසයි.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ වට්ටක්කා පටවාගෙන පැමිණි ලොරියේ ඉදිරිපස වාඩි වී සිටි අයෙකු බවත් තුවාල ලබා ඇත්තේ එම ලොරි රථයේ රියදුරු බව දඹුල්ල පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ නොච්චියාගම නමල්ගම පදිංචි ඩබ්ලිව්. යු. දේණුක දිල්ශාන් චන්ද්‍රාහංස නම් 19 හැවිරිදි අයෙකි.

නොච්චියාගම ප්‍රදේශයේ සිට මෙම ලොරි රථය වට්ටක්කා අලෙවි කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් සිටිය දී දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගොනියාව හන්දිය ආසන්නයේ මාර ගසක දැව පටවා පාරේ අනාරක්ෂිත ලෙස නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

ප්‍රධාන මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබූ දැව පටවා ඇති ලොරි රථය සහ එහි රියදුරු සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News