සහෝදර භාෂාවන් එකිනෙකා හරිහැටි නොදැන සිටීම ලජ්ජාවට කරුණක්. මේ තත්ත්වය රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් වහා වෙනස් කරගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මිලියන 21ක් වන ශ්‍රී ලාංකේය ජනතාවට භාවිත කරන්නට ඇත්තේ භාෂා දෙකක් වුවද එකිනෙකා තම තමන්ගේ සහෝදර භාෂාවන් තවමත් හරිහැටි හඳුනාගෙන නැති බවත් මෙය රටක් වශයෙන් අප ලජ්ජාවට පත්විය යුතු කරුණක්.
මේ ලජ්ජාව අප කරා රැගෙන එන්නේ වසර 72 ක දේශපාලන ක්‍රමය බවත්, රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ තත්ත්වය වහා වෙනස් කරගැනීමට අප කටයුතු කළයුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සමස්ත ලංකා දෙවන ජාතික භාෂා තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
ලෝකයේ දියුණු වූ රටවල රහස ජාතියක් විදියට එක්ව කටයුතු කිරීම බවත්, ලක්ෂ 45ක් ඉක්මවූ අපේ රටේ දරුවන් දක්ෂ දරුවන්, අදක්ෂ දරුවන් යැයි වර්ග නොකර සියලු දරුවන් රටට සම්පතක් බවට පත්කරගැනීමට අධිෂ්ඨාන කරගතයුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
එමෙන් ම භාෂා භාවිතයේ දී අනෙකාට රිදෙන විදිය, සිනමාව, සාහිත්‍යය, කලාව තුළත් විශේෂයෙන් ම මාධ්‍ය භාවිතයේදීත් අවබෝධකර ගතයුතු බව ද දැනුවත් ව හෝ නොදැනුවත් ව සුලු ජාතීන්, අන්‍යාගමිකයින් වැනි වදන් භාවිතය කිසිසේත් අනුමත නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සිංහල ළමුන් දෙමළ භාෂාව ද, දෙමළ ළමුන් සිංහල භාෂාව පිළිබඳව ද විෂය මාලාව යටතේ අවධානය යොමු කරමින් දෙවන භාෂා ඉගෙනුම සඳහා අවකාශ සලසා දෙමින් ඔවුන් අතුරින් දෙවන ජාතික භාෂාව පිළිබඳ විශේෂ දක්ෂතා පෙන්වන දරුවන් ඇගයීම වසරක් පාසා පවත්වනු ලබන මෙම තරගාවලියේ මූලික අරමුණයි.
භාෂා භාවිතය හා අවබෝධය, කියවීම, කථික සහ පද්‍ය ගායනා ඉසව් ඔස්සේ තරගකරුවන් ඇගයීමට ලක්කෙරෙන අතර, පාසල්, කලාප, පළාත් මට්ටමෙන් මෙම තරඟ පවත්වා ජයග්‍රාහී සිසුන් දෙදෙනෙකු බැගින් සමස්ත ලංකා මට්ටමට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ට පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරේ.
මෙවැනි ජයග්‍රාහී ස්ථාන ලබාගත් සිසුන් 120ක් (සිංහල මාධ්‍ය සිසුන් 60ක් හා දෙමළ මාධ්‍ය සිසුන් 60) සඳහා මෙවර සම්මාන ලබා දීම සිදු කෙරිණි.



