දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් වැඩියි

Share

දිවයින පුරා වැසි තත්ත්වය අද (21) සහ හෙට (22) දිනයන්හිදී තවදුරටත් වැඩි වන ලකුණු ඇති අතර අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථාන වලට මි.මී.(150-200)පමණ ඉතා තද වැසිද බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.(100-150) පමණ තද වැසිද ඇතිවිය හැක.

දකුණු පළාතේත් මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.

මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී.40 දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News