ජාතික නිදහස් දිනය දා දිවයින පුරා සෑම නිවසකම ප්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක් තේමාවෙන් පැවැත්වීමට නියමිත 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පිළිබද සාකච්ඡාවක් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අවධානයට ලක්කෙරුණේ ඉකුත් වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව 30%කින් අඩු කිරීමටත්, තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවීමටයි.
ජාතික දිනය දා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දුන්නේය.
එසේම ජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමිය ආශ්‍රීත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම, රථ වාහන හැසිරවීම මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.



