මගී ජනතාව‌ගේ මුදල් ගසාකන බුෆේ අවන්හල් ගැන පැමිණිලි

Share

මගී ජනතාව ගසා කමින් මුදල් හම්බ කරන බුෆේ කඩකාරයින් ගැන පැමිණිලි රැැසක් මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් ව තිබේ.

 

විශේෂයෙන් දුරගමන් සේවා බස් රථ නවත්වන ඇතැම් හොටල් මෙන්ම දිගු නිවාඩුවක දී දුරබැහැර ගම් බිම් බලා යන ජනතාව මෙම බුෆේ කඩහිමියන් විසින් අසාමාන්‍ය මිල ගණන් යටතේ ගසා කෑම් සිදු කරයි.

ඇතැම් හෝටල්වල කිසිදු පහසුකමක් නැතත් මෙන්ම ආහාරයට ගැනීමට තරම් සුදුසු නැති ආහාර තිබුනත් ඉන් ලබා ගන්නා සුළු ආහාරයකටත් බුෆේ මිලම ගෙවීමට සිදුවී තිබෙන අතර එම මුදල කිසිසේත්ම සාධාරණ නොමැති බව ද මහජනතාව පෙන්වා දෙයි.

එක් මගීන් පිරිසක් අඹේපුස්ස එක්තරා  ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන ඇත. එම කණ්ඩායමේ සිටි 85 හැවිරිදි මාතාවක් ආප්පයක් ලුනුමිරිස් සමඟ කා තේ කෝප්පයක් පමණක් බී ඇති අතර ඇයගෙන් ද එම ආපනශාලාව විසින් රුපියල් 700ක මුදලක් අය කර ගෙන තිබේ.

එමෙන්ම එම කණ්ඩායමේ සිටි තවත් කාන්තාවක ආහාරයට ගෙන ඇත්තේ කිරිබත් කෑලි දෙකක් හා මාලු කෑල්ලක් පමණි. ඇයගෙන් ද රු. 700ක මුදලක් අය කර ගෙන ඇත.

බුෆේ ක්‍රමයට ආහාර ගැනීමේ දී කිසියම් ස්ථිර මිලක් අය කර ගත යුතු වුවද, මේ අන්දමින් මහජනතාව ගසා කමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය විසින් කිසියම් පියවරක් ගත යුතු බව ද මගී ජනතාව පෙන්වා දෙයි.

සෑම කෙනෙකුටම එහි ඇති සියලුම ආහාර වර්ග ආහාරයට ගත නොහැකිය. ඇතැම් අය ආහාරයට ගන්නේ එක් වර්ගයක් පමණි.

එවැනි අවස්ථාවන් නිරීක්ෂණය කර එම අයගෙන් ගත් ආහාරයට පමණක් සරිලන මුදලක් අය කරන්නේ නම් එය සාධාරණ බව මගී ජනතාව පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ අන්දමින් මගී ජනතාව ගසා කෑම නැවැත්වීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කළ යුතු අතර ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මෙවැනි ගැටලු සඳහා විකල්ප පියවර ගැනීමට දැනටමත් සැලසුම් කර තිබේ.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් තම අධික්ෂණය යටතේ දිවයිනේ ස්ථාන කිහිපයක දුරගමන් මගී ප්‍රවාහන සේවාවන්හි යෙදෙන බස් රථ මෙන්ම වෙනත් මගීන් සඳහා ද සුදුසු පරිදි ආහාරපාන ලබා ගත හැකි ආපනශාලා පද්ධතියක් පිහිටුවීමට තීරණය කර තිබේ.

පිරිසිදු ආහාර පාන සාධාරණ මිලකට සැපයීම, මගී ජනතාවගේ සනීපාරක්ෂාව සඳහා යෝග්‍ය වැසිකිළි කැසිකිළි පහසුකම් පවත්වාගෙන යාම ද ඉදි කිරීමට යෝජිත මෙම ආපනශාලා පද්ධතිය තුල ස්ථාපිත කෙරේ.

මහජනතාව ගසා කන මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් සුදුසු පියවර ගත යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බව ද පවසයි.

බුෆේ ආහාර සපයන ඇතැම් ආපනශාලා විසින් සිදු කරන්නේ මුලුමනින්ම මහජනතාව ගසා කෑමේ ව්‍යාපාරයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළ අතර, ඉතා පිරිසිදුව ආහාර පාන සාධාරණ මුදලකට ලබා දෙන ස්ථාන රැසක් ද දිවයිනේ පවතින බවත් සඳහන් කරයි.

Read more

Local News