ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී සැලැස්මක්

Share

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පෙරේදා (07) දින කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. එස්. එම්. එස්. මහානාම මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

 

එහිදී ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020–2025 පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ 14ක අමාත්‍යාංශ ලේකම්වරුන් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි අන්තර්ගත “නැණ බල සහිත ළමා පරපුරක්” යටතේ රටේ සියළු දරුවන්ට ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් හිමි විය යුතු වරප්‍රසාද හා අයිතිවාසිකම්වලට ඇති හිමිකම සහතික කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර තිබේ.

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ මෙම පස්අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා අවශ්‍ය වන අමාත්‍යාංශ සම්බන්ධීකරණ කටයුතු හා අධීක්ෂණ කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලබයි.

Read more

Local News