ණය සහනදායක මණ්ඩලයේ කටයුතු තවදුරටත් පුළුල් කරයි

Share

ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් ණය සහනදායක මණඩලයේ කටයුතු තවදුරටත් පුළුල් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17ක් දක්වා වැඩි කිරීමට ගත් තීරණය අනුව තවත් සාමාජිකයින් 12 දෙනෙකු සඳහා පත්වීමි ලිපි ලබාදීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

එකී සාමාජිකයින් 17 දෙනා අතර, විශ්‍රාමික විනිසුරුවරුන් 07 දෙනෙකු, නීතිඥයින් 02නෙකු, විශ්‍රාමලත් උසස් රාජ්‍ය නිලධාරීන් 07 දෙනෙකු හා වෘත්තිකයින් වේ.

නව පත්වීමි ලැබු සාමාජිකයින් අමතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ ණය සහන දායක මණ්ඩලයේ කාර්ය භාරය පාර්ශ්ව කරුවන් අතර හැකිතාක් දුරට අර්බුදය සමනයට පත් කිරීම බවත්, ගිනි පොලීකරුවන් විසින් බොහෝ විට අහිංසක ජනතාවගේ ඉඩම් කඩම් සින්නක්කර ලෙස ලියා හිමිකර ගෙන ඇති ව්‍යසනයන් මැඩ පැවැත්වීම සදහා ණය සහන දායක මණ්ඩලය දායක වන බවයි.

නීති තර්ක ඉදිරිපත් කරන අධිකරණයක් නොව අසහනයට පත් ජනතාවට සහනය සළසා දීමේ මධ්‍යස්ථානයක් විය යුතු බවද එහෙයින් නොපමාව එකී නඩු කටයුතු අවසන් කිරීමේ ක්‍රියා මාර්ගයන් නොබියව ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී.

උකස්කරයක් පොරොන්දු සින්නක්කරයක් හෝ හුදෙක් ණය ගණුදෙනුවක් සදහාම ඔප්පු සම්බන්ධව ගත් ණය මුදලක් සදහා ඇපයට බැදී ඇති කෘෂි කාර්මික හෝ ගේ දොර ඉඩ කඩම් ආදී වු නිශ්චල දේපලක් ණය සහනදායි අන්දමට වාරික මගින් හා අඩු පොළි අනුපාතයට ගෙවා නිදහස් කර ගැනීමට ණය කරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා සහන සළස්වාදීම ණය සහන දායක මණ්ඩලයේ මෙහෙවර වන අතර, නිශ්චල දේපළ සම්බන්ධයෙන් උකස්කර පොරොන්දු සින්නක්කරයන් හා හුදෙක් ණය ගනුදෙනුවක් සදහාම ලියන ලද සින්නක්කර හා අනෙකුත් බැදීම් කෙරෙහි අය විය යුතු ණය පිළිබදව සම්මුතිවලට පාර්ශ්වයන් පැමිණවීම ණය සහන දායක මණ්ඩලයේ අරමුණයි.

1941 අංක 39 දරණ ණය සහනදායක ආඥා පනත යටතේ මෙම දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති අතර, 1999 දී කරන ලද අංක 29 දරණ සංශෝධන පනතට අනුව හුදෙක් ණය ගනු දෙනුවක් සදහාම ලියන ලද සින්නක්කර ඔප්පු සම්බන්ධයෙන් මණ්ඩලයට මැදිහත් වී සහන සැළැස්වීමට හැකිවීමෙන් මෙම සහනදායී ක්‍රියා මාර්ගය තවත් පුළුල් වී තිබේ.

මුදල් හිමියන් විසින් අත්තනෝමතික ලෙස ණය ගැතියන් ගසා කනු ලැබීමට ඇති ඉඩකඩ අසුරනු ලබයි.

මණ්ඩලයේ මුලික පරමාර්ථය මෙය වුවද එමගින් ණය හිමියන්ට ද අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබනු ලබන අතර උකස් ඔප්පු පිට හා පොරොන්දු සින්නක්කර ඔප්පු පිට බැදී ඇති නිශ්චල දේපළ පිළිබදව ණය කරුට පහසුවන්නා වුත් ණය හිමි පිළි ගනු ලබන්නා වුත් කොන්දේසි මත එම දේපළ බේරා ගැනීමට උපකාර කිරීම ණය සහන දායක මණ්ඩලයේ පරමාර්ථයයි.

මණ්ඩලය වෙත අයදුම් පත් ඉදිරිපත් කිරීම සදහා කිසිදු මුදලක් අය නොකෙරන අතර තමා වෙනුවෙන් මණ්ඩලය ඉදිරියේ නීතිඥයින් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බැවින් මහ ජනතාවට සිදු වන සේවය ඉතා විශිෂ්ටය.

2019 අංක 04 දරණ සංශෝධිත පනතට අනුව ණය සහනදායක මණ්ඩලය තවදුරටත් පුළුල් වු අතර ණය සහන දායක මණ්ඩලය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර ශ්‍රී ලංකා ණය සහනදායක මණ්ඩලය යනුවෙන් හදුන්වනු ලැබිය යුතු මණ්ඩලයක් පිහිටුවනු ලැබිය යුතු වේ.

2019 වර්ෂය තුළ ඉදිරියට ගෙන එන ලද නොනිමි ඉල්ලුම් පත් 785 ක් වු අතර, එම වසර තුළ නව ඉල්ලුම් පත් 409 ක් ලැබී තිබේ.

නැවත සමාලෝචනය සදහා එම වසර තුළ ඉල්ලුම් පත් 43 ක් ලැබී ඇති අතර, ඒ අනුව 2019 වර්ෂය තුළ ඉල්ලුම් පත් 1237 ක් ලෙස පැවතිනි.

එම වසර තුළ ඉල්ලුම් පත් 210 ක් සමථයට පත් කර ඇති අතර, අයදුම් පත් 119 ක් නිශ්ප්‍රභා කර ඇත.

ඉල්ලුම් පත් 36 ක් නැවත සමාලෝචනය කර ඇති අතර ඉල්ලුම් පත් 15 ක් සදහා සහතික නිකුත් කර ඇති අතර ඉල්ලා අස්කර ගත් ඉල්ලුම් පත් සංඛ්‍යාව 35 කි.

එක් ඉල්ලුම් පත්‍රයක් රෝලෙන් ඉවත් කර ඇති අතර ඒ අනුව 2019 වසර අවසන් වන විට අවසන් නොවී තිබු ඉල්ලුම් පත් සංඛ්‍යාව 821 ක් වේ.

2019 වර්ෂය තුළදී කොළඹින් අයදුම් පත් 65 ක්, ගම්පහින් 102 ක්, කළුතරින් 47 ක්, ගාල්ලෙන් 31 ක්, මාතරින් 12 ක්, හම්බන්තොටින් 02 ක්, මහනුවරින් 25ක්, මාතලෙන් 02ක්, නුවරඑළියෙන් 03ක්, කුරුණෑගලින් 69 ක්, පුත්තලමෙන් 08 ක්, කෑගල්ලෙන් 19 ක්, රත්නපුරෙන් 23ක් හා අනුරාධපුරයෙන් 01 ක් වශයෙන් පැමිණිලි 409 ක් ලැබී තිබෙන බව ණය සහන දායක මණ්ඩලය පවසයි.

ණය සහන දායක මණ්ඩලයේ ශාඛා ගාල්ල, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමත් සමඟ ඒ තුළින් ජනතාවට ලබා දෙනු ලබන සේවය තවදුරටත් වඩාත් පුළුල් වනු ඇත.

Read more

Local News