කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටිය දී එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදරවලට ලක් වූ, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි.
ඔවුන් තමන් සේවය කළ නිවෙස්වලදී සිදුවන මෙම හිරිහැර, කරදර තවදුරටත් ඉවසා දරා ගෙන සිටීමට නොහැකි විට, ඔවුන් එම නිවෙස්වලින් පලා යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන, මෙම ගෘහ සේවිකාවන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබුණි.
පසුව ඔවුන් තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන සිට, මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර, තවත් සුළු පිරිසකට ඉන්ෂුවරන්ස් ආයතන මඟින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකාරිනියන් වූ මෙම පිරිස අද දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්ත්වයෙන් පසු වූ අතර ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත රැගෙන ගොස් තිබුණි.



