කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණයක් ඊයේ (04) දින සොයා ගන්නා ලදි.
ඊයේ දින කන්කසන්තුරය මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ අති සාර්ථක මෙහෙයුම් වල ප්‍රථිඵලයක් ලෙස කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.
මුහුදු මාර්ග මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් රට අභ්‍යන්තරයට බෙදා හැරීම සඳහා ඉතා සූක්‍ෂම ක්‍රම භාවිතා කරනු ලබන අතර, එවැනි උත්සහයක් ව්‍යර්ත කරමින් මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
ඒ අනුව කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ඇසුරුම් පහක බහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබූ, කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් ඊයේ දින දහවල් කාලයේදී සිදු කළ මෙහෙයුමක් මගින් සොයා ගන්නා ලදි.
එසේම එම ස්ථානයේ සිදුකළ වැඩිදුර මෙහෙයුම් මගින් එලෙසම තවත් ඇසුරුම් තුනක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
ඊයේ දිනයේදී පමණක් සිදු කළ සාර්ථක මෙහෙයුම් මගින් මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණය සිය බාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වී ඇත.
තවද ගෙවී ගිය දින 35 ක කාල සීමාව තුළදී සිදු කරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට (කිලෝග්‍රෑම් 988) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇති අතර, ඉන් කිලෝ 700 කට අධික ප්‍රමාණයක් උතුරු මුහුදේ සිදු කරන ලද මෙහෙයුම් තුලින් පමණක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
ඒ අනුව මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය රට තුලට පැමිණීම සාර්ථකව මැඩ පැවැත්වීමට නාවික හමුදාවට හැකිවී ඇත.



