අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද(07) ප්‍රතික්ෂේප කළේය.

 

ඉකුත් ජනවාරි මස දොළොස් වන දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අධිකරණ සංවිධාන පනතේ 19 වන වගන්තිය යටතේ ඉකුත්දා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේය.

මෙම පැමිණිල්ල අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් විත්තිකාර නිතීඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව අධිකරණ සංවිධාන පනතේ 19 වන වගන්තිය යටතේ චෝදනා දෙකකින් යුත් චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් රිමාන්ඩ් භාරයේ පසුවන තම සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයෙකු බව සඳහන් කර සිටියේය.

ඔහු විසින් බාර ගත් නඩු ගණනාවක් දැනට අධිකරණවල පවතින බවත් ඒවාට ඔහු පෙනී සිටිමින් සිටින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම නිසා තම සේවාදායකයා ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු කිසිදු ආකාරයකින් අධිකරණය මගහැර පලා යනූ ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.

මෙම සිද්ධියට අදාළව දැනටමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත්කර තිබෙන්නේ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී තිබීම නිසා බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එබැවින් විමර්ශන අවසන් වී තිබෙන අවස්ථාවක තම සේවාදායකයාට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ද ඉඩක් නොමැති බවපෙන්වා දුන්නේ.

ඊට අමතරව තම සේවාදායකයාට ඇප ලබාදීම තුළින් කිසිදු මහජන කැළඹීමක් ඇති වීමටද අවකාශයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇප පනත යටතේ ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිඳු සාධාරණ හේතුවක් අනාවරණය වී නොමැති බවත් තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් සහිතව ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළකරමින් කරුනු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විත්තිකරු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විනෝදාංශයක් වශයෙන් විනිසුරුවරු, විමර්ශන නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශවයන්ට අපහාස කිරීම සිරිතක් වශයෙන් සිදු කරමින් සිටින බවට චෝදනා කර සිටියේය.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී ඔහු විසින් එම කරුණ අධිකරණය හමුවේ වසන් කර ඇති බවද චෝදනා කර සිටියේය.

එමෙන්ම මහාධිකරණයේ විභාග වන නඩුවක් පිළිබඳව විත්තිකරු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විනිසුරු ගිහාන් කුලතුංග පිළිබඳව පදනම් විරහිත චෝදනා එල්ල කර තිබෙන බව පෙන්වා දුන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රහාර එල්ල වන අවස්ථාවක ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ අවකාශයක් විනිසුරුවරුන්ට හා විමර්ශන නිලධාරීන්ට හෝ රජයේ සේවකයින්ට නොමැති බවද පෙන්වා දුන්නේය.

විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් වීම නිසා ඔහුගේ බිරිඳ සහ දරුවන් අසරණ තත්වයකට පත්වී සිටින බවට විත්තියේ නීතිඥවරයා ඇප ඉල්ලීම තුළින් සඳහන් කර තිබුණත් මෙම විත්තිකරුගේ මඩ ප්‍රහාර හේතුවෙන් අසරණ තත්වයට පත් වන විනිසුරුවරුන් සහ රජයේ සේවකයින්ගේ පවුල් වල සාමාජිකයින්ට මානසික හා සමාජමය වශයෙන් සිදුවන හානිය පිළිබඳව සිතා නොබලන්නේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියේය.

මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට මෙම පුද්ගලයාට නිදහසක් තිබුණත් ඒ හරහා සමාජය බරපතල ලෙස විනාශ කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බවත් මෙම පුද්ගලයාගේ වරද නිවැරදි කිරීමට ඔහුගේ බිරිඳ හා දරුවන් කටයුතු නොකරන්නේ නම් එම කාර්යය සිදු කිරීමට අධිකරණයට සිදුවනු ඇති බවත් රජයේ නීතිඥවරයා අවධාරණය කර සිටියේය.

මෙම පුද්ගලයාගේ මඩ ප්‍රහාර නිසා සමාජ ක්‍රමය දැඩි ලෙස පිරිහීමකට ලක් වන බව පෙන්වා දුන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා එය වැළැක්වීමට අධිකරණයට විශාල කාර්යභාරයක් පවතින බවද පෙන්වා දුන්නේය.

මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කිරීම මෙම විත්තිකරු විසින් නොකඩවාම සිදු කරමින් පවතින අතර ඔහු ඒ පිළිබඳව පශ්චාත්තාප වීමක් පෙන්වා නොමැති බවත් ඔහු ඇප මත මුදා හැරීමෙන් පසුව මෙම වරද සිදු නොකරනු ඇතැයි අධිකරණය හමුවේ කිසිදු සහතිකයක් නොමැති බවත් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඔහු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බව ද අවධාරණය කර සිටියේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා සඳහන් කර සිටියේර්‍ සෑම ගැටලුවක්ම නිරාකරණය කරගන්නා ස්ථානය වූ අධිකරණයට එරෙහිව විත්තිකරු විසින් සිදුකරන තිබෙන ප්‍රකාශ ඉතා සුළු පටු නොවන බවත් ඔහු විසින් සිදු කර තිබෙන වරද ඉතා බරපතළ බවත් සඳහන් කළේය.

විත්තිකරු තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවතින බව එම ඇප ඉල්ලීම තුළින් සඳහන් නොකිරීම කෙරෙහි අවධානය යොමුකළ මහාධිකරණ විනිසුරුවරයා ඔහු ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු විසින් දැනට සිදුකරමින් පවතින වරද ඉදිරියට ද සිදු කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන්නේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා සමාජය ආරක්ෂා කිරීම කෙරෙහි අධිකරණයට වගකීමක් පවතින බවත් සිය ඇප නියෝගයෙන් සඳහන් කර සිටියේය.

ඒ අනුව ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විත්තිකරු ඇපමත මුදාහරින ලෙස කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නඩුව නැවත ලබන 19 වනදා කැඳවන ලෙසද නියෝග කළේය.

Read more

Local News