ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස දී

Share

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 11 වන දා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

 

මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස එකොළොස් වන දා ආරම්භ කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්  ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

Read more

Local News