ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් ලක්ෂ පහළොවකට අධික රජයේ මුදල් දූෂිත ආකාරයෙන් පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ව්‍යවසාය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (25) කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අදාළව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2006 වසරේ ජූනි මස 21 වනදා සිට 23 වන අතර කාලසීමාව තුළ ලන්ඩන් නුවර ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවයි.
එම ප්‍රදර්ශනයට සහභාගි වෙමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතා භාණ්ඩාගාර චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා නීති විරෝධී ලෙස පොළඹවා හෝටල් බිල් වශයෙන් රුපියල් 1170444/- ක් මුදලක් සහ තවත් 414000/- ක මුදලක් අනුමත කර ගැනීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.
එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් දස දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 15 ක් ද ඉදිරිපත් කර තිබේ.



