ඇවන්ගාඩ් නඩුව විභාග කරන්න දින නියම කරයි

Share

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 19 කට අදාළ විභාගය මැයි මස 4 වනදා සිදු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

 

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව මෙම නඩු විභාගය සිදු කරනු ලබයි.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  විසින් මෙම නියෝගය සිදු කර ඇත.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටද නියෝග කරන ලදී.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉකුත්දා නියෝග කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් නඩුවේ ඉතිරිව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළත් එයද ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉකුත් දා නියෝග කළේය.

ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙසයි.

ඒ අනුව නඩුවේ විභාගය මැයි මස 4 වනදා පැවැත්වීම සදහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියම කළේය.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.

Read more

Local News