ඉන්ධන මිල අඩුකර මහජනතාවට සහන ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ උපදෙස් අවශ්‍ය නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වනවිට ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල අඩු වී තිබෙන බවත් පසුගිය සති කිහිපයම මෙම තත්ත්වය නිරීක්ෂණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම හෝ පහළ දැමීම තීරණය වන්නේ කෙටිකාලීනව සිදුවන මිල උච්ඡාවචනයන් තුළින් නොවන බවත් එම තත්ත්වයන් දිර්ඝ කාලයක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධව තින්දු තීරණ ගන්නවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) තංගල්ල ආසනයේ පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“වත්මන් රජය කියන්නේ මහජනතාවට සහන දෙන්න අකැමැති රජයක් නොවෙයි. පසුගිය පෙබරවාරි මාසයේ මුල් සතියේ ම ඇමරිකාවත්- ඉරානයත් අතර යුදමය තත්ත්වයක් ඇති වුනා.
ඒ ඇති වුන ලෝක දේශපාලන කැළඹිම නිසා ඉන්ධන මිල නොසිතූ පරිදි ඉහළ ගියා. ඒ වෙලාවේ අපි රජය විදියට එක්සත් ජාතික පක්ෂයේ ඊනියා මිල සූත්‍රය අනුව කටයුතු කළා නම් ඉන්ධන මිල රුපියල් 12කින් ඉහළ නංවන්නට සිදුවෙනවා.
නමුත් අපි රජය විදියට එමගින් සිදු වුනු පාඩුව දරා ගත්තා. ඉන්ධන මිල ශත පහකින්වත් වැඩි කලේ නෑ. දැන් එක්සත් ජාතික පක්ෂයේ සමහරු කියනවා අපේ ඉන්ධන මිල සූත්‍රය තිබුනා නම් මේ වනවිටත් ඉන්ධන මිල අඩුවෙලා කියළා.
ඔව් අඩු කරන්නට තිබුනා. කොහොමද කියන එක තමුන්නාන්සේලා දැන ගන්න ඔ්නෑ . මම මේ ගැන හොයා බැලුවා. ඉන්ධන මිල සූත්‍රය තිබුනා නම් පෙබරවාරි මාසයේ පෙට්‍රල් ඩීසල් හැම ඉන්ධනයකම මිල රුපියල් 12කින් වැඩි වෙනවා. එතකොට මිල අඩුවන විට අඩු කරන්නට වෙන්නේ කීයකින්ද?
ඒ අයගේ ඉන්ධන මිල සුත්‍රය අනුව රුපියල් 02කින් අඩු කරන්නට තිබුනා. රුපියල් 12කින් වැඩි කරලා රුපියල් 02කින් අඩු කරනවා කියන්නේ ජනතාවට සහනයක්ද? කියන ඒක මම එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න කැමැතියි.
දැන් ඒ අය කිඹුල් කඳුළු හෙලනවා මේ ඉන්ධන මිල සහන දෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුවක් කියන්නේ මහජනතාවට වද දෙන ආණ්ඩුවක් නොවෙයි. අපි මහජනතාවට දිය හැකි සියලුම සහන දෙනවා.
මෙම ඉන්ධන මිල සහනය රජය දෙන්නේ නැහැ කියළා එක්සත් ජාතික පක්ෂයේ සමහරු රජයට චෝදනා කරනවා. මම කියන්නේ මහජනතාවට සහන සළසන්න අපිට එක්සත් ජාතික පක්ෂයේ උපදෙස් අවශ්‍ය නැහැ කියන ඒකයි.
දැන් ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල සෑහෙන්න අඩු වෙලා තිබෙනවා. එමනිසා එහි වාසිය මහජනතාවට අපි ලබා දෙනවා. ඒ් නිසා මම හෙට (11) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනවා. මම දැනටමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කළා.
ඒ අනුව ඉන්ධන මිල සහනය ලබා දීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට මම කටයුතු කරනවා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වාර්ෂිකව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 6.6ක අවම අලාභයක් ඛනිජ තෙල් සංස්ථාව දරනවා. එසේ වුවත් මහජනතාවට සහනයක් ලබා දිය හැකි නම් එම සහන ලබා දෙන්නට අපි පැකිළෙන්නේ නැ.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



