රවීගේ පෙත්සම සලකා බැලීම අද

Share

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව් දෙනෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණයේ අද (11) සලකා බැලිමට නියමිතව තිබේ.

 

වරෙන්තු නිකුත් කර අදට දින හතරකට වැඩි කාලයක් ගතවුවද මෙතෙක් රවී කරුණානායක මහතා සිටින ස්ථානයක් හෝ සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නොමැත.

2016 මාර්තු මාසයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි දෙකකට අදාළව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මාර්තු හයවනදා වරෙන්තු නිකුත් කළේය.

එම දෙපාර්තමේන්තුව මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තු නිකුත් වූ 10 දෙනාගෙන් එක් අයෙකු පමණයි.

එවන් පසුබිමක කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන අය අද අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එහිදී රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම වරෙන්තුව නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ සේවය කරන බැවින් ඔහුට මෙම නඩුව ඇසීම සඳහා කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්වා දුන්නේය.

එබැවින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ තවත් නඩුවක් 2018 වසරේදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහුගේ නිල මැදිරිය තුළට ගොස්, මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ මහ බැංකුවේ සේවය කරන බැවින් මෙම නඩු කටයුත්තට සහභාගීවීමෙන් වළකින ලෙස ඉල්ලා තිබූ බව අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එම ඉල්ලීම පරිදි රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා එම නඩුව විමසීමෙන් ඉවත්වී එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු වෙත යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

එබැවින් මෙම නඩුවට අදාළව පොලීසිය ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කර සිටියේ මෙම නඩු කටයුතු වලට අදාලව නොතිසි කිසිවක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩු කටයුතු වලට අදාළ නොතීසි නීතිපති දෙපාර්තමේන්තු වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

අනතුරුව රීට් පෙත්සම සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read more

Local News