තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර ඇත.
මෙම නඩුව දැඩි මහජන අවධානයට පාත්‍ර වී තිබෙන නඩුකරයක් බැවින් එය ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අද (11) පෙරවරුවේ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීමට අනුව මෙම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ .එච්. එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම අද දහවල් ආරම්භ වුණි.
එහිදී රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පෙත්සම සලකා බැලීම අවසන් වනතුරු තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එවැනි නියෝගයක් සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අතර එහිදී එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.
මෙම නඩුවේ පෙත්සම්කරුවන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදී ඇති උපදෙස බලරහිත කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණත් නීතිපතිවරයාගේ උපදෙස් අඩංගු එම ලිපිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් අසමත් ව තිබෙන බව සඳහන් කළේය.
එය නීතිමය දෝෂයක් බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා එබැවින් නීතිපතිවරයාගේ උපදෙස් බල රහිත කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි පෙන්වා දුන්නේ.
එමෙන්ම මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන බොහොමයක් පෙත්සම් විභාගය අවසානයේදී පිරිනැමිය යුතු අවසානාත්මක සහන බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එවැනි සහන අතුරු නියෝග වශයෙන් ප්රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවද සිය මූලික විරෝධතා වලින් පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ සලකා බැලීම හෙට (12) දිනට කල් දැමුණි.
රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 50 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනි 6 වනදා වරෙන්තු නිකුත් කළ බවයි.
මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනි ව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.
ඊට අමතරව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති වරයා, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් යන අය නම් කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පිරිස වන්නේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, සංගරපිල්ලෙයි පද්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනා ද ඇතුළත් වෙයි.



