තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදී තිබෙන උපදෙස බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (12) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම සලකා බැලීම මැයි මස 4 වනදා සිදු කරන බවයි.
එහිදී මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අධිකරණ නියෝගයකින් තොරව තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ පොලිස්පතිවරයා වෙත නිකුත් කළ නියෝගය ඊළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පොලීසිය දැනටමත් අධිකරනයෙන් මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගෙන තිබෙන නිසා ඉකුත් නඩු දිනයේ සිදුකළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව පැවසුවේය.
කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල සඳහන් කළේ අධිකරණ නියෝගයකින් තොරව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නිකුත් කර තිබූ නියෝගය මීළඟ නඩු දිනය තෙක් එලෙසම බල පැවැත්වෙන බවයි.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සිය පෙත්සමෙන් අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට හෙලිදරව්වීමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ව පදනම් විරහිතව අත් අඩංගුවට ගැනීමට සූදානම් බවයි.
ඒ අනුව පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.



