මුහුදු කූඩැල්ලන් සමඟ තිදෙනෙක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදාව විසින් අද (12) මන්නාරම, කොන්තපිඩ්ඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 105ක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

 

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතරඑහි තවත් එක් මෙහෙයුමක් අද අළුයම උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් මන්නාරම, කොන්තපිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

එහිදී රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුද කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් තිදෙනෙකු එම අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගොඩබිමට රැගෙන එන අවස්ථාවේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තවද එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 105 ක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 35 ත් 45 ත් අතර වයසේ පසුවන පල්ලෙමුනේ සහ ඉරුක්කුලම්පිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News