වසරක් තුළ හදිසි අනතුරු නිසා 14000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වෙයි

Share

හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝ නොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇඟයීමේ වැඩසටහනක් අද (13) පැවැත්විය.

 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේවා ආවේක්ෂණ අංශයන්හි සහ බෝ නොවන රෝග ඒකකයන්හි වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයීම සඳහා වූ වැඩසටහනක් සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය.

2016 වසරේ දී හදිසි අනතුරු පිළිබදව තොරතුරු රැස් කිරීමේ පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි.

මෙමගින් හදිසි අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ රියදුරන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන් සහ කළමණාකරණ කටයුතු සොයා බැලීම සිදු කරනු ලබයි.

ඒ අනුව අද දින පසුගිය වර්ෂයේ හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහන යටතේ හදිසි ප්‍රතිකාර සේවාවන් අදාලව වෛද්‍යවරු ඇගයීම සිදු කරන ලදි.

රජයේ රෝහල්වල වාර්ෂිකව මිලියන 1.2 ක් පමණ හදිසි අනතුරු හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගනී.  එයින් 1/5ක් හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත වූවන් වේ.

හදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි ප්‍රමාණයක් මිය යන අතර, වාර්ෂිකව 12,000 -14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වේ.

මේ අතරින් 3000 ක් පමණ හදිසි අනතුරුවලින් මියයාමට හේතුවක් ලෙස මාර්ග තදබදය හේතුවන බව ද සොයාගෙන ඇත.

ලෝකයේ දිනකට හදිසි අනතුරු හේතුවෙන් 14000 ක ජිවිත අහිමි වේ. අවම වශයෙන් සෑම මිනිත්තු 06 කට වරක් එක් ජිවිතයක් අහිමි වේ.

මෙවන් වැඩසටහනක් ආරම්භ කිරිම සඳහා කටයුතු කිරිම පිළිබදව සිය ස්තූතිය පුද කරන බවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සිදු කිරිම සඳහා සිය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව ද සෞඛ්‍ය ලේකම්වරිය මෙහිදී පැවැසීය.

මේ පිළිබදව ප්‍රතිපත්ති සැකසීම, ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වන බවත්, සංඛ්‍යාලේඛණ නිරීක්ෂණ කිරීමේ දී හදිසි අනතුරු පිළිබද බරපතල තත්ත්වය වටහා ගත හැකි වන බවත්, වෛද්‍යවරු විසින් සිදු කරන සේවාවට නැවතත් සිය ස්තූතිය පුද කරන බව ද සෞඛ්‍ය ලේකම්වරිය මෙහිදී පැවැසීය.

මෙහිදී හදිසි අනතුරු සේවාවන් හි සහ බෝනොවන රෝග ඒකකවල සේවයේ නියුතු වෛද්‍යවරු අගයමින් සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සෞඛ්‍ය ලේකම්වරිය අතින් මෙහිදී සිදු විය.

Read more

Local News