සියළුම පළාත්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අමාත්‍යවරිය අතර විශේෂ සාකච්ඡාවක්

Share

පැතිරයමින් පවතින කොරෝනා වෛරසය මැඩලීම සදහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබදව උපදෙස් ලබාදීම සදහා ශ්‍රී ලංකාවේ පළාත් 09 ම නියෝජනය කරන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (31) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

 

කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට දිවයින පුරා සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී ප්‍රධාන වශයන්ම සාකච්ඡා කෙරිනි.

පුද්ගල ආරක්ෂිත මෙවලම්, විෂබීජ නාශක, මුව ආවරණ, කඩිනමින් සියළුම පළාත් සදහා ලබාදිමට පියවර ගත යුතු බව මෙහිදී පලාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කරන ලද අතර ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසට අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම්තුමීයට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙන ලදී.

එමෙන්ම ඔවුන්ගේ සේවා කටයුතු වල දී මුහුණ පෑමට සිදුව ඇති ප්‍රවාහන සේවා ගැටළුව පිළිබද අවධානය යොමු කළ අමාත්‍යතුමිය එම මොහොතේම ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර විසදුම් ලබා  දුන් අතර ඒ සදහා අවශ්‍ය වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබාදෙන ලදි.

මෙම ව්‍යසනයේ සෞඛ්‍ය අමාත්‍යංශය කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන අතර සියලුම පළාත් සහ ප්‍රාදේශිය සියලු දෙනා සෞඛ්‍ය අමාත්‍යංශය සමග  අන්තර් සහයෝගීතාවයෙන් හා මනා සම්භන්ධීකරනයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා වැඩකටයුතු සිදු කල යුතු බවත්, ඒ සදහා සියලුම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා වලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යවරිය දන්වා සිටින අතර මෙම ව්‍යවසනයේදී පලාත් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් කරගෙන යනු ලබන වැඩපිළිවෙල ඇගයීමටද ලක් කෙරිණ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම්වරු හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු පිරිසක් සහභාගිව සිටියහ.

Read more

Local News