හෙට විශ්‍රාම වැටුප නිවසට නොලැබුණහොත් තැපැල් කාර්යාලයෙන් විමසන්නැයි රජය දැනුම් ‌දෙයි

Share

දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම ප්‍රදේශ රැසක අදත් (03) සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි.

 

වෛරස ව්‍යාප්තිය සහ ඇඳිරි නීතිය නිසා රටතුළ පවතින තත්ත්වය හමුවේ වුවද විශ්‍රාම වැටුප් ලාභීන්ගේ මෙම මසට අදාළ විශ්‍රාම වැටුප ඊයේ (02) සහ අද යන දෙදින තුළ ගෙවීමට අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සොයා බලන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය පසුගියදා තීරණය කළේය.

ඊයේ සහ අද විශ්‍රාම වැටුප් ලබාගත නොහැකි වන්නන්ට අප්‍රේල් මස 06 වන සඳුදාත් ඒ සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

තැපැල් කාර්යාලවලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන්ට නිවෙස් වෙතටම ගොස් වැටුප ලබා දීම සිදු කෙරෙයි.

එම නිසා කිසිවකු තැපැල් කාර්යාල වෙත පැමිණීමේ අව්‍යශතාවක් නොමැති අතර අප්‍රේල් මස 4වන දිනටත් තම විශ්‍රාම වැටුප නිවසට නොලැබුණහොත් පමණක් නියමිත තැපැල් කාර්යාලයෙන් විමසන ලෙසයි රජය දැනුම් දෙන්නේ.

අදාල විශ්‍රාම ලාබීන්ට බැංකු වෙත පැමිණිම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අදත් සපයා තිබුණි.

ප්‍රදේශ කිහිපයකම ලංකා බැංකු ශාඛාවන්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණි.

මේ අතර විශ්‍රාම වැටුප් ගෙවන දින තුළ ඖෂධසැල් විවෘත කරන්නැයි රජය දුන් උපදෙස් අනුව දිවයින පුරා රජයේ ඔසුසල් මෙන්ම පෞද්ගලික ඖෂධහල් ද අද විවෘත කර තිබුණි.

Read more

Local News