අගමැතිගේ පාස්කු දින පණිවුඩය ‌

Share

අද දින කිතුණු දෙව්මැදුරු වලට නොගොස් රූපවාහිනිය හා ගුවන් විදුලිය හරහා එම දේව මෙහෙයන්ට සම්බන්ධ වූ කිතුණු ජනතාව කළ කැපකිරීම සම්බන්ධයෙන් හෘදයාංගම ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

 

අදට යෙදී ඇති පාස්කු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසා ඇත.

එම නිවේදනය මෙසේය.

“ලෝකවාසී කිතුණු බැතිමතුන් හා ශ්‍රී ලංකාවේ වෙසෙන අප සහෝදර කිතුණු ජනතාව අද දින, ඔවුන්ගේ ශාස්තෘවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කොට උත්ථාන වීම සිහි කිරීම සඳහා පාස්කු මංගල්‍යය පවත්වති.

පසුගිය වසරේ පාස්කු දිනයේදී සිදු වූ ප්‍රහාරයේ දුක්බර මතකය තවමත් ඔබගේ මතකයෙහි රැදී ඇති බව නොඅනුමානය.

එවැන්නක් මින් ඉදිරියේදී සිදු නොවී මාතෘ භූමිය ආරක්ෂා කර තබා ගැනීම රජයක් ලෙස අපගේ වගකීමයි.

“මාගේ ශ්‍රාවකයා වීමට කැමති තැනැත්තේ තමකම නසාසිය කුරුසිය රැගෙන මා අනුව වරෙන් ය” යැයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවසා තිබේ.

තවද උන්වහන්සේසිය ජීවිත පූජාව කුරුසිය මත සිදු කර සිය අනුගාමිකයන්ට අගනා ආදර්ශයක් දී තිබේ.

එම පරිත්‍යාගය තම ජීවිතයේ පරමාදර්ශය කර ගනිමින් උන්වහන්සේ පෙන්වා දුන් ජීවන ක්‍රමය ගැඹුරින් අධ්‍යනය කරමින් ඔවුන්ගේ අධ්‍යාත්මික දායකත්වය ලොවටම අධ්‍යාත්මික ශක්තියට එක් කිරීමට යුහුසුළු වනු ඇතැයි මම විශ්වාසකරමි.

මුළු මහත් ලෝකයම භයානක වසංගතයකින් පීඩා විඳිමින් සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලාංකීය ජනතාවද එම අවධානම අත්විඳිමින් සිටී.

මේ මොහොතේ දෙව් මැඳුරු වලට හා පූජනීය ස්ථාන වලට නොගොස් නිවෙස් වලට වී ආගමික වතාවත්වල නිරත වෙමින් අප මාතෘභූමිය මෙම විපතින් බේරා ගැනීමට රජයක් වශයෙන් අප දරන ප්‍රයත්නයට සහයෝගය දැක්වීම අගය කොට සළකමි.

සියළුම ආගමික ජන කොටස් වලටත් විශේෂයෙන් අද දින කිතුණු දෙව්මැදුරු වලට නොගොස් රූපවාහිනිය හා ගුවන් විදුලිය හරහා එම දේව මෙහෙයන්ට සම්බන්ධ වූ කිතුණු ජනතාවටත් ඔබ කළ කැපකිරීම සම්බන්ධයෙන් ලක්වැසි ජනතාව වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. ඔබ සැමට බැතිබර පාස්කුවක් වේවා.”

Read more

Local News