වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර ආරක්‍ෂක මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව නාවික හමුදා නැගෙනහිර නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් මගින් ඊයේ (18) දින ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු සමඟ ධීවර යාත්‍රාවක් මසුන් කිලෝ 485 ක පමණ ප්‍රමාණයක් සහ එම ධීවර යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 46ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.

එම පුද්ගලයා, ඩිංගි යාත්‍රාව, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

Read more

Local News