කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය

Share

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරු සමඟ අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් දුන් සහයෝගය ඉතා ඉහළ බව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සිය ප්‍රසාදය පළ කර තිබේ.

කොරෝනා වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති පියවර සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දිසාපතිවරුන් දැනුවත් කර ඇත.

දෛනිකව වෛරසය ආසාදිත බවට හඳුනා ගැනෙන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ හුදකලා ප්‍රදේශවලින් හෝ වීම මර්දනයට ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵලයක් බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්, ආර්ථික වශයෙන් ශක්තිමත්වීම රජයේ අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ සඳහා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දි දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂ කරන බවත්  දිස්ත්‍රික් මට්ටමේ දේශීයත්වයට ආවේණික කර්මාන්ත මෙන්ම සෙසු නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ඒ සඳහා ව්‍යවසායකයන් දිරිමත් කළ යුතු අතර ඔවුන්ට පුර්ණ සහාය රජයක් ලෙස ලබාදිය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ධීවර සංස්ථාව මෙන් කෘෂි අස්වනු මිලදී ගැනීමට එළවළු සංස්ථාවක් වැනි ආයතනයක අවශ්‍යතාව කෙරෙහි ද අවධානය යොමු වී ඇති අතර‍ පසු අස්වනු තාක්ෂණ ආයතනය සිදු කරන පර්යේෂණවල නිර්දේශ ජනතාව සහ ගොවීන් අතර ප්‍රචලිත කොට ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු බවට එකඟත්වය පළ වී ඇත.

පවතින වාතාවරණයත් සමඟ බොහෝ පිරිස් ගොවීන්ගෙන් මිලදී ගන්නා කෘෂි භෝග ඝෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමේ යෙදී සිටින බවත් එහි වාසි දායක බව පෙන්වා දුන් දිසාපතිවරු මෙමඟින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසී ඇති බව පවසා තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් ශිතාගාර සහ ගබඩා ස්ථාපනය සහ දේශීය බීජ නිෂ්පාදනය සිදු විය යුතු බව දිසාපතිවරු සඳහන් කර ඇත.

මුඩුබිම් වගා කිරීම, වගා නොකළ බිම් ආරක්ෂක අංශ සහ බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් අස්වැද්දීම, යටි භෝග වගාව කෙරෙහි මෙන්ම කුඹුරු නියර ආශ්‍රිත වගාවන්ට ගොවීන් දිරිමත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද සාකච්ඡා වී තිබේ.

රබර් නිෂ්පාදන, කොසු, ඉදල් පේෂකර්ම ඇතුළු දේශීය කර්මාන්ත නගා සිටුවීම, දියර කිරි නිෂ්පාදන දිරිමත් කිරීම ඇතුළු කෘෂි සහ කර්මාන්ත ආශ්‍රිත ක්ෂේත්‍ර රැසක සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර, මුදල් ලේකම් එස්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිසිපති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව ඇත.

Read more

Local News