විදෙස් රටවල සිරවී සිටින ලාංකික සිසුන් ‌ගෙන්වා ගැනීමට කටයුතු ‌යොදවයි

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය මේ බව සඳහන් කරයි.

COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරෙනු ඇත.

ඒ අනුව අප්‍රේල් මස 21 වන දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතයි.

අප්‍රේල් මස 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි.

තවත් විශේෂ ගුවන් ගමන් දෙකක්, එනම් අප්‍රේල් මස 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425 දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත.

මෙලෙස  ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News