යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මඟින් ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.
ඊයේ (22) දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු වෙරළ තීරයේ වෙරළ නීරීක්‍ෂණ මුරකුටියක රාජකාරි නියුතු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාවික අණුකණ්ඩ වෙත්තලකේනි ආයතනයේ රේඩාර් මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකල නාවික පුද්ගලයින් පිරිසක් විසින් සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇත.
පසුව එම යාත්‍රාව ගොඩබිමට සේන්දු වන අවස්ථාවේදී එය පරීක්‍ෂාවට ලක්කර එහි තිබී පාර්සල් 44ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
මෙහිදී එම කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්, ධීවර යාත්‍රාව සහ එහි තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙම යාත්‍රාවේ සිටි පුද්ගලයින් තලයාඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 35 යන වයස්වල පසුවන්නන් බවට හඳුනා ගෙන තිබේ.
මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය හා ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සංකානේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කර ඇත.



