රත්නපුරේ කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික සෙබළා ගිය තැන් මෙන්න

Share

අද (25) පස්වරුව වන විට කොවිඩ් නයින්ටීන් සමස්ථ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 440ක් දක්වා ඉහළ ගියේය.

 

ඒ අද හමුවූ නව ආසාදිතයින් 20 දෙනකු සහ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 52ක සමඟින්.

සෞඛ්‍ය අංශ කියා සිටින්න‌ේ ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවයි.

ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් පස්දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගිය පුද්ගලයින්.

ඔවුන් රත්නපුර හිදිල්ල කන්ද, කුරුණෑගල පොල්ගහවෙළ උඩපොළ, කුරුණෑගල කීනියා පොළ, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ සහ දඹුල්ල අතබෝධිවැව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඉන් රත්නපුරයේ පදිංචි නාවික හමුදා සෙබලා නිවාඩු ලබා සිය නිවෙසට පැමිණ ඇත්තේ පසුගිය විසි දෙවැනිදායි.

අනතුරුව ඔහුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු නිවෙස් එකොලහක සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර ඔහු නිවෙස බලා පැමිණෙන අවස්ථාවේදී සමන්දේවාලය අසල මාර්ග බාධයකින් බැස තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ විෂබීජ හරණය කටයුතු අද සිදුකෙරුණි.

මෙම නාවික නිලධාරියා නිවෙස වෙත පැමිණීමට පෙර තංගල්ලේ පිහිටි දුරකථන අලුත් වැඩියා කටයුතු සිදුකරන ස්ථාන දෙකකට ගොස් ඇත.

ඉන් එක් ස්ථානයක අදාල නාවික හමුදා සෙබලා පැයකට වැඩි කාලයක් රැඳී සිට ඇත.

මේ අතර අලව්වේ පදිංචි ආසාදිත නාවික භටයාගේ පවුල්වල සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට අද යොමු කෙරුණි.

එමෙන්ම බදුල්ලේ ආසාදිත නාවික සෙබළා මහියංගණයේ පැයක් පමණ කාලයක් රැඳී සිට ඇත.

Read more

Local News