රජය විසින් ආරම්භ කළ සියලු සංවර්ධන කටයුතු කොවිඩ් 19 හේතුවෙන් කඩාකප්පල් වීමට ඉඩ නොදී ඒවා යලි ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉදිරි මාස 06 තුළ උමා ඔය ජල විදුලි බලාගාරයේ වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (27) එම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන නිලධාරින්ට දැනුම් දුන්නේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට මාස දෙකකට ආසන්න කාලයක් එම බලාගාරයේ වැඩ කටයුතු ඉතාමත් මන්දගාමීව සිදු කෙරුණි.
ඊට හේතුව නම් එම විදුලි බලාගාරය ඉදි කිරීම් කටයුතු බාරව වැඩ කරන ඉරාන සමාගමේ සේවකයින් ඉරානයට ගොස් තිබීමත්, ඔවුන්ට යළි මෙරටට පැමිණීමට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නොහැකි වීමත්ය.
නමුත් මෙම ගැටළුව සම්බන්ධව අවධානය යොමු කරමින් දේශීය සේවකයින් යොදවාගෙන ඉතිරි ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඉදිරි කාලය තුළ ඉරානයේ සේවක පිරිස් ද පැමිනීමට නියමිත බැවින් උමා ඔය ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් සියල්ල ඉදිරි මාස 06 තුළ අවසන් කිරීමට හැකියාව ලැබි තිබේ.
ගිගවොට් 231ක ධාරිතාවයකින් යුත් විදුලි බල සැපයුමක් ජාතික විදුලිබල පද්ධතියට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් ඉදිරි මාස 06 තුළ එක් කළ හැකි බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය මේ රටේ ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ද සඳහන් කළේය.
විශේෂයෙන් හම්බන්තොට පානීය ජල ගැටළුවට මෙමගින් විසඳුමක් ලබා දෙන අතර වගාවට අවශ්‍ය ජලය මෙන්ම විදුලිබලය නිෂ්පාදනය මගින් වරින් වර මේ රටේ උද්ගතවන විදුලි බල අර්බුධයට විසඳුමක් ද ලැබේ.
දැනට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට බරපතල පහරක් එල්ල වී ඇති නිසා ඉදිරියේ මතුවිය හැකි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා සෑම අමාත්‍යාංශයක් ම කළින් සැළසුම් කළ පරිදි සංවර්ධන වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමනිසා විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ආරම්භ කළ සියලු සංවර්ධන වැඩ සටහන් හා දැනට අවසන් කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යලිත් ආරම්භ කර ඒ්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු යැයිද නිලධාරින්ට අමාත්‍යවරයා විසින් උපදෙස් දුන්නේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ කරඳගොල්ල පිහිටි ජලවිදුලි බලාගාරය වෙත ගොස් එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නිලධාරින්ට උපදෙස් දුන් අතර දැවැන්ත කළුගල් කඳුවැටියක් යට නිර්මාණය කර අති දැවැන්ත උමා ඔය ජලවිදුලි බලාගාරය සැබවින්ම මේ රටේ ජලවිදුලි බල ක්ෂේත්රයේ විප්ලවකාරී නිර්මාණයක් බව ද අමාත්‍යවරයා කීය.
කොවිඩ් වසංගතය තත්ත්වය අවසන් වුවහොත් උමා ඔය ජලවිදුලි බලාගාරය දැකබලා ගැනීමේ අවස්ථාව මේ රටේ මහජනතාවට හා පාසල් දරුවන්ට ලබා දෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා ජනාධිපතිවරයා හා මෙම ව්‍යාපෘතිය බාර චමල් රාජපක්ෂ මහතා ඇතුලු අනෙකුත් බලධාරින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධව තීන්දුවක් ගන්නා බවත් සඳහන් කළේය.



