බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04)කටයුතු කර තිබේ.
බේරුවල, ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ප්‍රසාදි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට හදිසියේ ඇතිවූ අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකර සඳහා යොමු කිරීමට සහාය ලබා දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙතින් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අදාල ධීවර යාත්‍රාව ධීවර කටයුතුවල නිරතව සිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයට යොමු කර ඇත.
ඒ අනුව ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදු සැතපුම් 32ක (කිලෝමීටර 60) පමණ දුරකදී පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් සියලු ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාල ධීවර යාත්‍රාව වෙතින් රෝගී වූ පුද්ගලයා ලබා ගැනීමට කටයුතු කර පසුව වේග ප්‍රහාරක යාත්‍රාව තුලදීම එම පුද්ගලයා වෙත මුලික ප්‍රථමාධාර ලබා දීමට නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් කටයුතු කර තිබේ.
අනතුරුව ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ මෙම රෝගී පුද්ගලයා සුවසැරිය ගිලන් රථයක් මඟින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.



